Sunday, January 31, 2016

හර්ද සූත්‍රය

පිළිතුරක් නැති විසඳුමක් නැති
සංකීර්ණ ගැටළුවක් ඔබ...
විසඳන්න හැදුවාම,
තව තවත් අවුල්වෙන

ගීතයක්  කවියක් උනා නම්,
තනුවක් යොදන්න තිබුනා මිහිරට...
හීනයක් වගේ වත් උනා නම්,
විඳගන්න තිබුනා හීනෙන්වත්...

කෙටිකතාවක් නවකතාවක් උනා නම්,
කියවන්න තිබුනා ඉවරවෙනකම්...
පින්තූරුවක් උනානම් නෙකපාට,
පුරවන්න තිබුනා හිස්තැන් රන්වනින්...

ජීවිතෙත් හීනයක් වුනු කාලයක
ආදරෙත් හීනයක් කෙරුවාට,
කමක් නෑ ඉතිං...
තරහ නෑ මං...

ආයෙමත් ආවොතින් දවසක
මුකුත්ම නැතිව, හිස් අතින්ම උනත්
පිළිගන්නවා, සත්තයි...
හදවතේ ඉඩ තිබුනොතින්;
ඒත් ආදරය නම් නැතිවෙයි...

මුවපුරා නැඟෙන මුදු සිනාවට,
ලඳ බොළඳ දඟකාරකම්වලට,
ඉසිඹුවක් නැති කටකාරකම් වලට,
තවම මම ආදරෙයි;
කිසිම කිසි දවසක නොකිව්වාට...




මටත් මගේම හර්ද සූත්‍රයක් තිබුනා. කාටවත්, අඩුම තරමේ ඔයාටවත් නොකීවට හරිම සංකීර්ණ, විසඳගන්න අමාරු සූත්‍රයක් මටත් තිබුණා. ඒ සූත්‍රය විසඳගන්න මං උත්සාහ කලේ නෑ. ඔයාගෙම හර්ද සූත්‍රයක් ලියාගන්නවත්, මගේ සූත්‍රය විසඳන්නවත් උවමනාවක්, ඔයාට තිබුනෙ නෑ. අපි අපිට කොතරම් හොඳට දැනුනත්, අන්තිමේදි අපි වෙන්වුනේ 'වෙන්වෙමු'යි කියල, කතිකා කරගෙන නම් නෙවෙයි. අන්තිමේදි දැනුනෙ අපි අපිට ආගන්තුකයි කියල විතරමයි.

ඇත්තමයි, ඔයාගෙ ප්‍රහේළිකා ආදරයට මං ආදරය කලා. රුකුලකුත් නැතිව, හිස්ම හිස් කොටු පේළි විතරක්ම තිබිලත්, මං ඒ ප්‍රහේළිකා ආදරයට ආදරය කලා. විසඳගන්න බැරිවෙනකොට, උදව්වකුත් නැතිවෙනකොට, අත්හැරියේ වෙන කරන්න දෙයක් නොතේරුනු හින්දයි.

ඔබත් හරි සංවේදියි, මං හැමදාම හිතුවා. පොඩ්ඩක් හිත රිදෙව්වොතින්, මහ හුඟක් රිදවගන්නවා. හිලව් වෙන්න මාවත් රිද්දනවා. හැබැයි දඟකාරකම්වලින් නම් අඩුවක් නෑ. කටකාරකම ඉහටත් උඩින්. ආදරේ උනේ මම ඒවටයි.

ඔයා හිතුවේ මං හරිම ඝණකමයි කියලා. වැරදිමත් නෑ. ආඩම්බරයි නම් තමයි. හැබැයි රිදෙන්නෙ නැතිව  නම් නෙවෙයි. කොයිතරම් හයියට හිටියත්, ඇතුළෙ හිටියෙ පුංචි දැරියක්ම තමයි. ලැබෙන්නෙ නෑ කියල දැන දැනත්, හඳ ඉල්ලලා අඬන පුංචි දැරියක් විතරමයි. නොලැබෙන හඳ ඔබේ ආදරයයි. හැමදාමත් හෙව්වේ, ඇඬුවොතින් නළවගන්න පුළුවන් ආදරකුයි. මහ හුඟක් දේ ඉල්ලුවෙත් නෑ. හීනියට හිස පිරිමැද්දා නම්, ආදරෙන් පිරිල ඉතිරෙන්න තිබුනා මගෙ හිතත්.

ඔයාට කියවගන්නත් බැරි, මට විසඳගන්නත් බැරි, හර්ද සූත්‍රයකින් වැඩක් නැති නිසා මං ඒක ලඟම තිබුණු කහළ ගොඩකට විසිකලා. ඒත්, කවදහරි දවසක ඔයා ආයෙමත් ආවොත් උවමනා වෙයි සිතා, මටත් නොකියාම මගේ හදවතෙන් ණයට ගත් ඉඩ ඒ විදියටම තියෙන්නට ඇරියා.

ඉතිං, කවදමහරි දවසක ඔයාටත් දැනේවි, මං ඔයාට ආදරය කල බව. ඒත් එදාට ඔයා ලඟ මං නැතිවේවි. ආයෙමත් ආවොත් දවසක ඔයාට දෙන්න තරම් ආදරයකුත් මගේ ලඟ නැතිවේවි. හැබැයි, සදහටම අමතක කරන්න නම් බැරිවේවි.

ඒත්... ආයෙමත් එනකොට වෙන කාටවත්ම සින්නක්කරට නොදී තිබුනොත් මගේ හදවතම, පුළුවන් වේවි ආයෙමත් කටුමැටි ගහලා හරි පුංචියට පැළක් හදාගන්න. එදාට, පුන්සඳක් වෙන්න බැරි වුනොත් පහන් තරුවක් වෙලා සහන් එළියක් වෙන්න පුළුවන් වෙයි මට. එකතු කරලා තියාගන්න හදවතේ රිදුණු තැන්, මුමුණලා කියන්න එදාට; සිද්ධාර්ථ තෙල් ගාල පිරිමැද්ද හැකියි එතකොට.

සහතිකයි, මම ගඟක් වෙනවා, ඔයා මහ සයුර වෙලා මා වැළඳ සිපගන්නවා නම්. ඔය උරහිසේ හිස තියාගත්තම, නෙත් කෙවෙනි අගින් ගලන කඳුළු වැල් පිසදමනවානම්. හිනා මල් පොකුරු අරගෙන එනවා නම්, හුඟක් ඉස්සර ජීවිතෙත් හීනයක් වුනු කාලෙකදි කෙරුවා වගේම. 

සත්තයි... එදාට මම ජීවිතේ ආයෙමත් පටන්ගන්නවා... නැවතුනු තැනින්ම...





පසු සටහන
මේ සටහන ලියන්න හිතුනෙ අහම්බෙන් වගේ සුනේත්‍රා රාජකරුණානායකගේ 'හර්ද සූත්‍රය' කියවද්දියි.