Tuesday, March 15, 2016

මං නුඹේ සඳවත...

ජීවිතේ මහ දුරක් – මහ හුඟක් බර අරන්
ඇවිදගෙන ඇවිදගෙන – නොනැවතී ඇවිදගෙන;
සුසුමකුත් හෙලන්නට – ඉසිඹුවක් නොමැතිවම
සොයා ආවේ නුඹද – මොහොතකට මට සිතුනි...

නැති උනත් නුඹේ යැයි – මට දෙන්ට කිසි දෙයක්
නැවතුනා මං නුඹ ලඟින් – හේතුවක් නොමැතිවම...
කිසිවක්ම නොවිමසා – නුඹත් සිටියා මං ලඟම
ඇස්වලින් විතරක්ම – හැමදේම මුමුනගෙන...

එකම එක මොහොතකදි – ඇහුවාම ජීවිතය ගොඩදැයි
හිනා පොකුරක් පිපුනි – වසන්තය අභිමුවෙක...
ගැඹුරු ලාලිත වදන් – අහම්බෙන් මට ඇසුනි
සිනාවට පසුව – සීරුවෙන් ඇවිද ආ...

හිත කොනේ මල් පිපුනි – ඒ හිනා වත රැඳුනි
පතුල නොපෙනෙන තරු දෙනෙත් – දයාවෙන් සිනාසුනි...
කිසිම දවසක නොමැති – ලයාන්විත සෙනෙහසක්
යන්තමට දැනි දැනී – හිත කොනේ මෝදුවුනි...

ඇස් වලට එබි එබී – කතා බස් හැමදාම
ඉඳහිටක හිත කීරි ගැස්සෙන – නෝක්කඩු අමනාප;
අහම්බෙන් වැරදිලා – රණ්ඩු සරුවල් දබර
ඒ හැමට වැඩියෙන් හැමදාම – පිරී ඉතිරෙන සෙනේහය...

හුඟක් දුර යැයි දැනුනාට – තවත් එපමණම ඇත යන්ට
වාරු ඇත යැයි සිතුනාට – තනියෙන්ම බෑ එතරම්ම දුර යන්ට;
අත්වැලක් නොවේ මට – රැකවරණයක් වෙන්ට
නුඹ ඉන්නවාද මං ලඟ – මං නුඹේ සඳවත...