Thursday, May 26, 2016

රස්තියාදුකාර ආදරේට...


ඩොක්ටර් කිව්වා
විෂබීජයක් ගිහින් කියලා...
චෙකප් එකක් කරගන්න කිව්වා...

ඔයා...
ෆුල් බොඩි චෙකප් එකක්ම කරගන්න
ඒක කෝකටත් හොඳයි...
 

මොකද මං හිතන්නේ...
අරක්කු බීල බීලම දැන් ඔයාගෙ අක්මාවෙන් ඇත්තෙ භාගයයි
සිගරට් බීල බීලම පෙනහළු වලින් ඉතිරිවෙලා ඇති 1/3ක් විතර
 

එතකොට හදවත,
.
.
එක එක්කෙනාට ණයට දීල දීලම
දැන් ඉතින් ඒකෙන් මංචාඩියක් විතර ඉතුරුවෙලා ඇති...




පලයන් යන්න...


Thursday, May 12, 2016

පළමුවෙනි ලියමන...

කාලය ඉක්මනටම ගෙවිල ගිහින්. හිතාගන්නත් බැරි වේගෙකින් ගෙවිල ගිහින්. අපි මුළින්ම මුනගැහිලත් අවුරුදුම හයකුත් තවත් ටිකක් ගෙවිල ගිහින්. අපි අපිව අඳුනගත්තෙ මේ සටහන ලියන මේ මොහොතෙ ඉඳන් හරියටම අවුරුදු හය හමාරකට විතර කලින් දවසක. සමහරවිට ඊටත් පස්සෙ ආපු දවසක වෙන්න පුළුවන්. ඒත් කොහොම කොහොමහරි අපි අපිව දන්නවා. කෙටියෙන් කිව්වොත් කවුරුහරි කවදහරි දවසක මගෙන් ඔයා ගැන ඇහුවොත් "ආ ඒ මගේ යාළුවෙක්නෙ..... කාලෙකට ඉස්සර දවසක අපි එකම ලෙක්චර් හෝල් එකක එකම බංකුවක ඉඳගෙන ඉගෙනගත්තා..." කියලා කියන්න පුළුවන් තරමට මං ඔයාව දන්නවා.

ඉතින් කාලය ගෙවිල ගියා අපිටත් නොදැනීම. අවුරුදු හතරක සුන්දර සරසවි ජීවිතයකින් පස්සෙ අපි ඒ බිමට ආයුබෝවන් කිව්වා. අළුත් තැන්වල මුල් ඇද්දා. ඉස්කෝලෙන් සරසවියෙන් එද්දි පොදි බැඳගෙන ආපු හැමදේම අපි යන යන තැන්වල පැළ කලා. එකම බලාපොරොත්තුව උනේ අපි දැන උගත් දේවල් වලින් අපි වගේම අපි වටේ ඉන්න අයගෙත් ජීවිත ආලෝකවත් කරන එක. ඉතින් අපි බිඳිලා විසිරිලා ගියා. යාළුකම් දුරකථන ඇමතුමකට SMS එකකට chat එකකට සීමා උනා. හරි හදිස්සියෙන් දවසක සරසවිය පත්තෙ ගියාම කප්පරක් පැරණි මතක දෝරෙ ගලාගෙන ආවා. තවමත් සරසවියේ රැඳිලා ඉන්න පරණ යාළුවෝ දෙතුන් දෙනෙක් මුණගැහිලා පරණ යාළුකම් අළුත් කරගත්තා. වෙනදා වගේම කැන්ටිමේ වාඩිවෙලා ඒ කාලේ රුපියලට සත පනහට තිබුණු ප්ලේන්ටිය තඹ පාට පහේ කාසියක් ගෙවලා, නිවී සැනසිල්ලෙ පරණ රස කතාවක් මතක් කරමින් බොනවා. තෙල් කාලේ එකම ප්ලේන්ටිය වටේටම යවලා බීපු අපි ඒ කාලෙ කතන්දර අදටත් ආදරෙන් මතක් කරනව. සරසවියෙ නුග ගස් යට, කැන්ටිමේ, කොමන් එකේ, පිට්ටනියෙ තාමත් වැළලිලා තියෙන මතක පොදි හාර අවුස්සලා බලනවා. මතක මුහුණු හැම තැනම තිබිච්ච ඒ කාලේ අදට වඩා කොච්චර සුන්දරද කියලා හෙමිහිට අපිටම මුමුණ ගන්නවා. පරණ ලෙක්චරර් කෙනෙක් දන්න අඳුනන මූණක් වෙලා ළඟින් යද්දි ඉබේටම වගේ හීන් හිනාවක් මූනේ ඇඳෙනවා. නාඳුනන මුහුණු තියෙන නංඟිලා මල්ලිලා දිහා බලලා අපිත් මේ වගේම හිටියා නේද කියලා හීනියට හිතනවා. සිකුරුටියෙ ඉන්න සිකුරිටි මල්ලිලයි, කටපුරා හිනාවෙන සිකුරුටි ඇන්ටිලයි එක්ක හරි හරියට හිනාවුනේ නැති උනාට හිතේ පුංචි ලෙන්ගතුකමක් නැතුවාම නොවෙයි.

මේ සටහන ලියන්නෙ හුඟක් කාලෙකට පස්සෙ වෙන වැඩකට සරසවිය පැත්තෙ ගියපු දවසක. සරසවිය කියල ඉතින් විධියට කිව්වට හැමතිස්සෙම කියවෙන්නෙ නම් කැම්පස් එක කියල තමයි. අර කිව්වත් වගේ දැන් එතන අපි දන්න යාළුවෝ ඉන්නේ අතේ ඇඟිළි ගානටත් අඩුවෙන්. වෙන වෙන වැඩවලට ආපු යාළුවෝ කීප දෙනෙකම හිතුවෙවත් නැති විධියට මුණගැහුණා. පරණ කතන්දර වගේම අළුත් කතන්දරත් කියල වෙනද තරම්ම සැහල්ලුවෙන් හිනා වුණා. එහෙම වෙන වැඩකට ආපු යාළුවෙක් "යමුද කැන්ටිම පැත්තෙ මොනවහරි කන්න" කියල කියපුවාම, ගෙදර යන්න මොනතරම් උවමනා උනත් බෑ කියන්න බැරිවුනේ අපි ආයේ කවදා මුනගැහේවිද කියන සිතුවිල්ල අනාරාධිතවම හිතට ආපු හින්දයි. ඒ හින්දම අහම්බෙන් හමුවුණු අපි තුන්දෙනෙක් හෙමින් හෙමින් කොරිඩෝ දිගේ ඇවිදගෙන කැන්ටිමට ආවා. ෆෘට් සැලඩ් එක්ක වඩේ ගැළපෙන්නේ නැති හින්ද පොල් රොටියි ලෙමනේඩ් බෝතලයකුයි ගත්තා. අඟල් හයක් විතර උස සැලඩ් කෝප්පෙ උඩට හැඳි භාගයක් විතර අයිස්ක්‍රීම් වැරදිලා වගේ වැටිලා තිබුනා. සහනදායි මිළට දෙන නිසා ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ කියලයි මටනම් හිතෙන්නෙ. හරි බරි ගැහිලා මේසෙකට වාඩි උනේ අනිත් දෙන්නගෙ අළුත් තොරතුරු අහන ගමන්මයි. එක්කෙනෙක්ට අළුත් ජොබ් එකක්. අනිත් කෙනාට අළුත් කැම්පස් එකක්. PhD candidate. හිනා කතා මැද්දෙ අයිස්ක්‍රීම් එක්ක ෆෘට් සැලඩ් ඉවරවෙද්දි සටහනට පාදක වෙන කතාව ඇදිලා ආව.

“ඉතින්... දැන් ඔයා ගියාම අපිට ඔය ඉන්න ඔයාගෙ කෑල්ලක් වත් ආයෙමත් දකින්න බැරිවෙයි නේ”

“අනිවාර්යයෙන්ම”

“ඔයා මහත්වෙලා සුදු වෙලා එයිනේ”

ඒ එක්කම මගෙ Thinking Factory එක ඔන් උනා. හරි සද්දෙට ඒක හිතන්න පටන් ගත්තා. තවත් එක්කෙනෙක් රට යනවා, ඉගෙනගන්න. දැනටමත් දන්න කියන හුඟ දෙනෙක්ම රට ගිහින් ඉවරයි. විවිධ රටවල විවිධ කැම්පස් වල. තව අවුරුදු කීපයක් මහන්සි වෙලා තවදුරටත් ඉගෙනගන්න ඕනි කියල හිතපු හුඟ දෙනෙක් දැනටමත් රට ගිහින්. මේ ඉන්න දෙතුන් දෙනාත් තව ටික දවසකින් රට යනවා. එතකොට මං දන්න වගේම මගේ ලඟ හිටපු අයත්, මාත් නොදන්න කාලෙකට මගෙන් ඈත් වෙනවා. එහෙම හිතද්දි යාන්තමට හිත හිරිවැටීගෙන යනවා වගේ දැනෙනවා. ඒත් එක්කම ඉතින් පුංචි සතුටකුත් හිතට එනවා. පහුගිය සතිය ඇතුළේ 'මාත් රට යනවා' කියපු තුන්වෙනියා බවට එයා පත්වෙද්දි කවදහරි දවසක ඉගෙනගත්තු හැමදේමත් අරගෙන එයාලා ආයෙමත් මෙහේ එයි කියල හිත් කොනේ බලාපොරොත්තු මල් පිපෙනවා.

ඉතින් මට කියන්න ඕනි වුනේ එක දෙයයි. අපි යාලුවෝ. දැන් මේ මොහොතේ නොවුනත් පේන නොපෙනෙන අනාගත දවසක ඔයා මං ඉන්න මේ බිමෙන් ඔයත් මාත් නොදන්න බිමකට යනවා. නන්නාඳුනන මිනිස්සු මැද්දේ, කවදාවත්ම අයිතියක් නොතිබුණු පොළොවක, සමහරවිට කිසිම දවසක ඔයාට අයිතියක් නොලැබෙන පොළොවක ඔයා අමාරුවෙන් හිටගන්න උත්සාහ දරාවි. ඒ ජීවිතය ඇතුළේ මුල් අදින්න ගොඩක් දේවල් කරන්න වේවි. අළුත්ම දේවල් වලට හුරුවෙන්න වේවි. තනියෙන්ම මුල් අදින එක හිතන තරම් ලේසි නැතිවේවි. සමහරවිට අද වෙනකම්ම නොකරපු කිසිම දවසක කරන්න නොහිතපු දේවල් කරන්න වේවි. එහෙම වෙද්දි ඉබේටම අපිත් නොදන්න, ඔයත් නොදන්න කෙනෙක් බවට ඔයා පත් වෙලා තියේවි. එතකොට ඔයත් නොදන්න ඔයාව, නොදන්න මිනිස්සු මැද්දේ තනිවෙලා කියලා දැනේවි. හිතාගන්න බැරි තරම් පාළුවක් දැනේවි. හිත හදාගන්න බැරි තරම් දුක හිතේවි.

මේ සටහන ලියන්නෙ අන්න එහෙම දුක හිතුනු වෙලාවක කියවන්නයි. හිත හදාගන්න බෑ කියල හිතෙන මොහොතකදි කියවන්නයි. ජීවිතේ අමාරු දවස් එනවා. ඔයාටත් එනවා. මටත් එනවා. ඒක හැමෝටම පොදුයි. ඒ වගේ වෙලාවට අපිට දැනෙනවා අපි වටේ ඉන්න අය ඒ විදියට අපිත් එක්ක ඉන්න එක මොනතරම් වාසනාවක්ද කියලා. ඔයාට එහෙම දැනෙන මේ මොහොතේ ඔයා එක්ක මෙච්චරකල් හිත් වේදනා බෙදා හදාගත්තු අය ඔයා ලඟ නෑ කියලා ඔයාට දැනේවි. ඒ අය අතරේ ගව් ගණනක දුරක් ගොඩනැඟිලා තියේවි. විද්‍යුත් සන්නිවේදන ක්‍රම විතරක් උදව්වට තියේවි. ඒත් වැදගත්ම දේ එදා වාගෙම අදත් අපි ඉන්නවා. ළඟ නැතත්, දුර ඉඳන් යාළුකම් වෙනුවෙන් එදා වාගෙම අදත් අපි කැපවෙලා ඉන්නවා. කොහොමටවත්ම තනිවෙලා කියලා හිතන්න එපා. එහෙම හිතෙන හැම මොහොතකම ඔයා යනකොට තියලා ගියපු ආදරණීය යාළුවන්ට කතාකරන්න. ඔයා මගේ හොඳම යාළුවා නොවෙන්න පුළුවන්. මාත් ඔයාගෙ හොඳම යාළුවා නොවෙන්න පුළුවන්. ඒත් කවදමහරි දවසක එකම එක මොහොතකට හරි කිව්වොත් ඔයාට ඇත්තටම හිතෙන්නෙ මොනවද, දැනෙන්නෙ මොනවද කියලා මට කිව්වොතින් ඒ ටික අහන් ඉන්න මං ඉන්නවා. අපි ඉන්නවා. ඔයාගෙම ගීතය ඔයාට අමතක වුණොත් ඒක ඔයාට මතක් කරල දෙන්න, තාල තනු යොදල ගායනා කරන්න අපි ඉන්නවා... ඊයේ හිටියා වාගෙම අදත් ඉන්නවා, අද වගේම හෙටත් ඉන්නවා...

මේ සටහන ලියන්නේ වැඩිදුර ඉගෙනගන්න මේ වෙනකොටත් ගිහින් ඉන්න, යන්න බලාගෙන ඉන්න, එක ප්ලේන්ටිය එක වඩේ එක බෙදාහදාගෙන කාපු එක බංකුවෙ එකට ඉඳගෙන එකට ඉගෙනගත්තු ආදරණීය සරසවි හිත් වලට. එහෙමයි කියලා අනිත් අයව අමතක වෙලා නෑ. එදා වාගෙම අදත් ඉන්නවා හැමකෙනෙක් වෙනුවෙන්ම...