Sunday, January 15, 2017
නිතූගේ වාක්කිය...
හා හා පුරා කියලා නිතූ වාක්කි ලියන්න පටන්ගත්තෙ සා/පෙ පන්තියේ ඉන්නකොට. සා/පෙ පන්තියේ ළමයි ඒ කාලෙ තරඟෙට පාඩම් කරද්දි, ගණන් හදද්දි, කවි කටපාඩම් කරද්දි නිතූ කලේ සුදු කරදහි වල වෙද අකුරින් වාක්කි ලියපු එක. කාටවත්ම කියවන්න බැරි කුරුමිණි අඬු වගේ කටු අකුරින් කටු වැඩ කොල, කවි කොල වලට පෙරළපු එක. නිතූගෙ තාත්තා නම් මේ වැඩේට කැමති වුනේ නෑ. ඒ වුනාට එහෙමයි කියලා නිතූ වැඩේ අතෑරියෙත් නෑ. ඔහොම ඉතින් ටික ටික වාක්කි ලියාගෙන යනකොට, නිතූට රචනා ලියන්නත් පුළුවන් වුනා. ඒ වුනාට නිතූ සා/පෙ කරලා උ/පෙට යද්දි වාක්කි ලියන එක ටික ටික අඩු වුනා. ඊටත් පස්සෙ කළු පාට කොළඹ අහස යට, ගෙන්දගම් පොළොවේ විස්ස විජ්ජාලෙට ආවට පස්සෙ ලිවිල්ල එහෙම පිටින්ම මඟ ඇරුණා. අඩුම තරමේ කවියක් වත් ලියවුනේ නෑ. නිතූ ඒ කාලෙ හිටියෙ මූණ එක්ක තරහවෙලා, නහය කපා ගත්තු කෙල්ලෙක් වගේ. පාරට බහින්නත් බැරි, ගෙදරට මූණදෙන්නත් බැරි හිතුවක්කාර කෙල්ලෙක් වගේ.
අවුරුදුම හතරකට පස්සේ, විස්ස විජ්ජාලෙන් එලියට ආවටත් පස්සෙ තමයි, ඔන්න නිතූ ආයෙමත් වාක්කි ලියන්න පටන්ගත්තේ. ඉස්සර වගේ වාක්කි නොලියවුනාට ටික ටික ලියද්දි, ආයෙමත් ලියන්න පුලුවන් වෙයි කියලා නිතූ දැනගෙන හිටියා. ඉතින් ඒ විදියට තමයි මේ වාක්කිය ලියවුනේ.
නිතූගේ කල්පනාව අද ඉඳලා හැමදාම වාක්කි ලියන්න. අළුත් අවුරුද්දේ නිතූගෙ අළුත්ම බලාපොරොත්තුව. එහෙම ලියන වාක්කි නිතූට වෙච්චි දේවල්, හිතිච්චි දේවල් වලින් පිරිලා තියේවි. වැඩකුත් නැති, කියෙව්වාට පාඩුත් නැති මෙලෝ රහකුත් නැති වාක්කි තියේවි. එහෙමයි කියලා ඉතින් නිතූට ගාණකුත් නැති වේවි. කවදමහරි දවසක හොඳම හොඳ වාක්කියක් ලියාගන්න පුළුවන් වෙනකන් නිතූ වාක්කි ලියන එක නම් නවතින එකක් නෑ.
ඔය කියනකොට කිව්වට හැමදාම ලියනවා කියලා, හැමදාම ලියන්න නම් බැරිවෙයි. ඒ වුණාට වෙනදට වඩා නම් ලියයි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment