Monday, June 2, 2014

සීනි බෝල...

රෝස පාට, ස්ට්රෝබෙරි සුවඳ,
පැණි රසට සීනි තවරපු
තිත්ත බෙහෙතක් ඔබ…

සීනි බෝල යැයි සිතා
අහම්බෙන්
, වැරදිලා ගිලපු
පුංචි දැරියක් මම…

එකම එක මොහොතකට
පැණි රසට දැනුනාට
තිත්තම තිත්ත බව දැනුනාම
කඳුළු නවතාගත්තෙ
හරි අමාරුවෙන්…

සමාවෙන්න මෙහෙම කීවාට,
ආදරෙයි මං තවම
ඒත්
, නපුරුකම් පැත්තකට කර
තව පොඩ්ඩක් වැඩිපුර
දෙනවාද මට ඔබේ ඔය ආදරය…


Tuesday, May 27, 2014

අවබෝධය...

පාට පාට පිහාටු, සැහැල්ලු සමණළ තටු,
පොත් පිටු අතරේ පරිස්සමට එකතු කරපු
දඟකාර හිරිමල් සමණළ යුගයකදි,
ජීවිතය,
වැටෙන ඕනෑම තැනක මුල් අදිනු ඇතැයි සිතුවෙමි...
සමණළ තටුවක් තරමටම ලස්සන යැයි සිතුවෙමි...
පිහාටුවක් තරමටම සැහැල්ලු යැයි සිතුවෙමි...

එහෙත් අද,
ජීවිතෙන් හරි අඩක් ගෙවුනු සඳ,
එය එසේ නොවේ යැයි හැඳින්නෙමි...




Saturday, May 24, 2014

ජීවිතය...

විටෙක සිනහව ගෙනෙන
නෙතු අගට මුතු කඳුළු අමුණන
ජීවිතය දිගු ගමනකි
කිසිදිනෙක නිම නොවේ යැයි සිතෙන...

ලොව පුරා මල් පිපෙනවා
සුවඳ දී පරවෙලා යනවා
ජීවිතෙත් හරියටම ඒ වගේ
සුවඳ දී පරවෙලා යනවා...

Wednesday, April 30, 2014

බඹරෙක්...

“ගැහැණු ළමයෙක් හරියට මලක් වගේ...
පුංචිම කාලෙ මල් පොහොට්ටුවක් වගේ,
පිවිතුරුයි සියුමැලියි, පිපෙන්නට වෙර දරයි...
කාලයත් එක්ක හාදවෙලා නොදැනීම  මලක් වෙලා පිපෙනවා...
ඉතිං ඊට පස්සෙ බඹරු...
හොයාගෙන එන්නෙ අනාරාධිතවමයි...
බඹර තුඞු වැදෙන්න වැදෙන්න මල පරවෙන්නෙ ඉබේමයි...

මම,
එකම එක බඹර තුඩක් වත් නොවැදුනු පිවිතුරු මලක්,
ඔයා,
දකින දකින මලෙන් රොන් ගන්න විසේකාර බඹරෙක්...”


ඔව්...
මම බඹරෙක් තමයි,
වසඟ උනේ එක මලකට විතරයි...
ඉතිං,
ඇයි මේතරම් නෝක්කාඩු...???


Monday, March 31, 2014

පෙර සටහන...


බ්ලොග් එකක් ලියන්න ඕනයි කියලා හිතුවේ හුඟ කාලෙකට ඉස්සරයි.
ඒත් ඒකට උවමනා කරන තරම් වෙලාවක් හොයාගන්න බැරිවුනා.
අන්තිමේදි මෙන්න මෙහෙම බ්ලොග් එකක් ඇරුනා, වෙලාව ලැබෙන විදියට ලියනවා කියලා හිතාගෙන…..




ඉතින් අවසරයි,
හිත් මානේ නැගෙන සොඳුරු සිතුවිලි,
මුතු අකුරින් අකුරු කරන්නට කවි කතන්දර පද පේලි ලෙස...