Saturday, December 12, 2015

දයාබර පියතුමනි...

උපන් මොහොතෙම ''යනු ''යනු ඉගෙන
''යනු ''යනු ඉගෙන ගන්නට
නුඹේ දෝතට වැඩිය මට
අකුරු සිල්පය ලැබුණි මොනවට
ආදරේ අකුරු පොත...

නපුරු වූ ලෝකයක - විෂම වූ සමාජෙක
උණුහුමට පණ පොවා - සෙනෙහසින් හිස අතගගා
නොවැටෙන්න පය පැකිල - සුරැකි ලෙස සුරතින් රැගෙන
පියනඟන්නට ඇත - ලෝකයක් සොයා මට

දැන් එළඹ ඇත කාලය…
මගේ වූ ලෝකයක් ගොඩනගන්නට - නිම්වලලු සොයායන්නට
මග නොවැරදී පය නොපැකිලී - ලෝකයක් දිනන්නට

දයාබර පියතුමනි,
 නුඹෙ දිරිය මට දෙන්න - ලෝකයක් දිනන්නට
ඉවසන්න මට කියාදෙන්න - ලෝකයම එරෙහි වූ විටෙක
නැගිටින්න නොබියව - අයුක්තිය දුටු විටෙක
කරුණාව මෛත්‍රිය - අසරණව වැලපෙන අයට
එවිට...
ගුණයහපත් දරුවෙක් ලොවට දුන්නාට
නුඹේ නම ලියවෙනු ඇත - මානව වංශ කතාවක
පත් ඉරුවක - රන් අකුරින්...


Tuesday, May 5, 2015

බුදු හිමියනි...

ජීවිතය යැයි සිතූ සැම
මිරිඟුවැයි හැඟුනු දින
"නොම යන්න වැරදි මඟ"
වැටින සවනත දිසාපාමොක් ඇඳුරු හඬ

නෙත ගැටුනු කල නෙක අකටයුතුකම්
හදවතට දැනුනු සඳ අන්ත අසරණ බැව්
ජීවිතය දෑතේම ගුලිකරන්
සෙවීමි මම කතර මැද කෙම්බිම

පසක් කරගත් කල ජීවිතයෙ සත්‍යය
නොහැඟුනා නොවේ ජීවිතය දුක බව
පිරූ පාරමී දම් මද වූ හෙයින්
බෝ දුරයි තව ගමන සංසාර

හිමි දෙසූ මඟ යන්ට හිතමුත්
පුළුල් නැත සිතුම් නිම් වලලු තවමත්
ගැඹුරු දම් බිඳක වන අරුත්
ලිහාගෙන තෝරන්ට අපහසුයි තවමත්

සාගරය තරමටම විසල් වූ දම්කඳින්
මා රැගත් එකම එක දිය දෝතින්
දිගු කලක් වෙහෙසී පද අරුත් ලිහාගෙන
පසක් කරගතිමි හිමි නිවැරදිම වග…




Saturday, March 28, 2015

ආයෙමත් හිරු නැගෙන දවසක...





දුයිෂෙන් වෙමි, අල්තීනායි නොවෙමි...
නිහඬවම බලාහිඳිමි...

කොහේවත් නැති දවසක,
හැමෝටම අයිති අහස යට,
කාගෙවත් නොවන පොළොවක,
 නමක් නැති මලක් වී පිපෙන්නෙමි,
අලුත් ඉරක සෙනේහය මැද.....