Tuesday, May 5, 2015

බුදු හිමියනි...

ජීවිතය යැයි සිතූ සැම
මිරිඟුවැයි හැඟුනු දින
"නොම යන්න වැරදි මඟ"
වැටින සවනත දිසාපාමොක් ඇඳුරු හඬ

නෙත ගැටුනු කල නෙක අකටයුතුකම්
හදවතට දැනුනු සඳ අන්ත අසරණ බැව්
ජීවිතය දෑතේම ගුලිකරන්
සෙවීමි මම කතර මැද කෙම්බිම

පසක් කරගත් කල ජීවිතයෙ සත්‍යය
නොහැඟුනා නොවේ ජීවිතය දුක බව
පිරූ පාරමී දම් මද වූ හෙයින්
බෝ දුරයි තව ගමන සංසාර

හිමි දෙසූ මඟ යන්ට හිතමුත්
පුළුල් නැත සිතුම් නිම් වලලු තවමත්
ගැඹුරු දම් බිඳක වන අරුත්
ලිහාගෙන තෝරන්ට අපහසුයි තවමත්

සාගරය තරමටම විසල් වූ දම්කඳින්
මා රැගත් එකම එක දිය දෝතින්
දිගු කලක් වෙහෙසී පද අරුත් ලිහාගෙන
පසක් කරගතිමි හිමි නිවැරදිම වග…